FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් ඇතුළු අනෙකුත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක් [වීඩියෝ]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි වැනි මුස්ලිම් නායකයින් සහ රටේ අනෙකුත් ක්‍රියාකාරීන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජී. එස්. පී. ප්ලස් (GSP+) සහනය අහිමිවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රජිත සේනරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරන ලෙස ඉල්ලමින් යුරෝපීය පාර්ලිමේන්තුව විසින් ජුනි 10 වනදා යෝජනාවක් සම්මත කළේය. එම යෝජනාව මඟින් යුරෝපීය පාර්ලිමේන්තුව, යුරෝපීය කොමිසමෙන් (EU) ඉල්ලා ඇත්තේ, ජී. එස්. පී. ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගන්නා ලෙසයි.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී සේනරත්න මහතා පැවසුවේ, රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි, හිජාස් හිස්බුල්ලා සහ ශානි අබේසේකර අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව යොදාගෙන ඇති බවත්, එවැනි දේශපාලනව පළිගැනීම් වල ප්‍රතිඑලයක් ලෙස රටට ජී. එස්. පී. ප්ලස් අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

ජී. එස්. පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට නැවත ලැබුණේ 2017 මැයි 19 වැනිදාය. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර මානව හිමිකම් ඇතුළු අන්තර්ජාතික සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට එකඟ වීමේ කොන්දේසිය මතයි.