FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ සතොස නඩුව 2016ට කල් තබයි.

ලංකා සතොස ආයතනයට අයත් ශාඛා තුනකින් රුපියල් පනස් දෙලක්ෂයකට අධික ආහාර ද්‍රව්‍ය ණය පදනම මත ලබාගෙන මුදල් ගෙවීම පැහැර හැරීමෙන් මූල්‍ය වංචාවක් කළ බවට , සමූපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුඵ තිදෙනෙකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව 2016 මාර්තු 28 වැනිදා දක්වා කල් තැබිණි.

ඒ කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායගේ නියෝගට අනුවයි.

මෙම නඩුවෙහි පළමු සැකකරු ලෙස නම්කර සිටින අමාත්‍ය සම්බන්ධීකරණ හිටපු ලේකම් ඒ. කේ. එම්. සාකීර් සහ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින සමූපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින ලක් සතොස හිටපු සභාපති කේ. එම්. ආර්. ප‍්‍රනාන්දු යන අය අද කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ පොලිස් සැරයන් චානක විසින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙනයාම පිළිබදව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බැවින් එම උපදෙස් ලැබෙන තෙක් යම් කාලයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.