FAST NEWS

24×7 Around the Globe

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කරයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම්ලා ඇති “එක්ස්ප්‍රස් පර්ල්” රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කර ඇති බව වරාය අධිකාරිය ප්‍රකාශ කළේය.  

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් වූ මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබූ නෞකාවක ඊයේ (20) දහවල් එම ගින්න හටගෙන තිබූ බවය.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචිකර ඇති “එක්ස්ප්රුස් පර්ල්“ නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබියදී එලෙස එහි ගින්නක් හටගෙන ඇති බව සඳහන් වේ.

නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බාහාලුම් 1486ක් සහිත අදාළ නෞකාවේ කාර්ය මණ්ඩල 25 දෙනෙකුගෙන් සමන්විත වන බව නාවික හමුදාව සඳහන් කළේය.

නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ පස්වරුවේ නෞකාවට ඇතුළු වී එහි තත්ත්වය පරීක්ෂා කර ඇති අතර නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමෙන් ගින්න හටගෙන ඇති බවට සැක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.