පුන්ගුඩුතිව්හි පාසල් දැරිය දූෂණයට ලක්වීම හා අන්තවාදය

පුන්ගුඩුතිව්හි පාසල් දැරිය දූෂණයට ලක්වීම හා අන්තවාදය

පුන්ගුඩුතිව්හි පාසල් දැරිය දූෂණය කොට මරාදැමීමේ අපරාධය සම්බන්ධයෙන් ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය ඉතා ම සන්සුන් ව සලකා බලා අදාළ පියවර ගැනීම ආණ්ඩුවේ වගකීම යි.

පළමු ව නීතිය කඩන සැමට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක විය යුතු ය. එසේ ම නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා උනන්දු නොවූ හෝ ගැටුම වැඩි කිරිමට දායක වූ පොලිසියේ හා අනෙක් රජයේ නිලධාරීහු වෙත් නම් ඔවුන්ට විරුද්ධව ද කටයුතු කළ යුතු ය.

ඉතාමත් කනගාටුදායක ලෙස සිදුවන, විශේෂයෙන් දරුවන්, තරුණියන් සම්බන්ධයෙන් සිදුවන මිනීමැරුම්, ස්ත‍්‍රී දූෂණ වැනි අපරාධවල දී ඊට එරෙහි ව බලවත් ආවේගකාරී සමාජ ක‍්‍රියාකාරිත්වයක් පැන නැගීම ස්වාභාවික ය. සමූහ දූෂණයක් වැනි අපරාධයක දී මේ තත්ත්වය තවත් බරපතළ වෙයි. ඊට උතුර, දකුණ කියා වෙනසක් නැත. ලංකාවේ අනෙක් ප‍්‍රදේශවල ද මෙවැනි අවස්ථාවල දී මහජනතාව ක‍්‍රියා කොට තිබෙන්නේ මේ සා කුපිත වූ ආකාරයට ම ය. ඉන්දියාවේ පවා පසුගිය දා මෙවැනි සිදුවීම්වලට එරෙහි ව පැන නැගුණු මහජන නැගිටීම් විශාල ප‍්‍රමාණයකි. එක් අවස්ථාවක දී ඒ මහජන නැගිටීම් පාලනය කිරීම සඳහා, අදාළ ස්ත‍්‍රී දූෂණයට හා මිනීමැරුමට සම්බන්ධ පුද්ගලයන්ට පමණක් වන ලෙස මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ඉන්දියාවට සිදුවිය.

නීතියට පිටින් ගොස් හෝ සැකකරුවන්ට දැඩි දඬුවම් ඉල්ලා සිටීම, ඉක්මනින් නඩු විභාගය අවසන් කිරීම සඳහා බලපෑම් කිරීම, සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටීමට විරෝධය පෑම, නීතිඥවරුන්ට පවා පහර දීම, අධිකරණ පද්ධතියට බලපෑම් කිරීම, පහර දීම, සමහර විට සැකකරුවන් රජයේ භාරයෙන් බලහත්කාරයෙන් නිදහස් කොට ගෙන ගොස් තමන් විසින් ම රිසි දඬුවම් පැමිණවීම යනාදිය මෙවැනි අවස්ථාවක ප‍්‍රකෝපකාරී මහජනයා විසින් කරනු ලබන දේ අතර වෙයි.

පුන්ගුඩුතිව් සිදුවීම මේ ආකාරයෙන් බලන කල කිසිසේත් වෙනස් දෙයක් නොවේ. එහෙත්, එය සිදුවෙමින් පවතින්නේ ඉතාමත් සංකීර්ණ හා සංවේදී සමාජ වටාපිටාවක ය. ජනවාර්ගික යුද්ධයක අවසානයේ සුව නොවුණු තුවාල සහිත ව කල් ගෙවන, ගැටුමෙහි එක් පාර්ශ්වයක් වන සන්නද්ධ හමුදා තවමත් දෛනික දෘශ්‍යමානයේ එහා මෙහා යන, අනෙක් අතින් සංහිඳියාව සඳහා සෑම පාර්ශ්වයකට ම වුවමනාවක් ඇති වී තිබෙන පසුබිමෙක මෙවැනි සිදුවීමක් මැනැවින් කළමනාකරණය සියලූ පාර්ශ්වවල වගකීම විය යුතු ය.

පොලිසියත්, හමුදාවත් මේ අවස්ථාවේදී කටයුතු කළ නීත්‍යනුකූල හා සන්සුන් ආකාරය ගැන ඔවුන්ට ගෞරව කළ යුතු ය. ඉතා සුළු සිදුවීමකින් අනවශ්‍ය අන්තයක් කරා යොමු වීමට හොඳින් ම අවස්ථාවක් තිබෙන ගැටලූවක්, ඒ පැත්තට යා නොදී, සියල්ලන්ට විශ්වාසය ඇති වන ආකාරයෙන් පාලනය කර ගැනීමට ඔවුන් දැක්වූ ඉවසිලිවන්තභාවය ඉතා වැදගත් ය. අධිකරණය ද ඒ සා ඉවසිලිවන්තභාවයකින් හා ගැඹුරු සිතා බැලීමක් සහිත ව ඉදිරියේ දී නීතිය ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය ය. මෙවැනි ආවේගශීලී ප‍්‍රහාරාත්මක මහජන නැගිටීම් වෙනත් මුහුණුවරකට පරිණාමනය කරගත හැකි ද යන්න ගැන ද ඒ ප‍්‍රජාවේ සමාජ නායකයන් සලකා බැලිය යුතු ය. උදාහරණයක් හැටියට සාමූහික දුක් මෙහෙයයන්, අවිහිංසාවාදී සත්‍යක‍්‍රියාවන් වැනි දේ හරහා කෝපය සන්සුන් සමාජ ක‍්‍රියාකාරිත්වයකට පෙරලා ගැනීම බොහෝ වේලාවට වඩාත් ප‍්‍රතිඵලදායී වනු ඇත.

වඩාත් ම වැදගත් දේ නම්, මෙවැනි අවස්ථාවක සැලසුම් සහගත ව ක‍්‍රියාත්මක විය හැකි අන්තවාදී බලවේගවලට ඉඩහසරක් නොසැපයීම යි. මෙවැනි සංවේදී හා සංකීර්ණ අවස්ථාවල දී ක‍්‍රියාත්මක වන එවැන්නන් විසින් තත්ත්වය වඩා භයානක අන්ත කරා ගෙන යනු ලැබීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් උතුර හා දකුණ අතර ගොඩනැගී එන සංහිඳියාව විනාශ කිරීම සිය ජීවිතය කරගත් බලවේග උතුරේත් සිටියි. දකුණේත් සිටියි.