FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් සහ සහෝදරයා වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් මන්නාරමේ ජනතාව විරෝධතාවක [VIDEO]

(ෆාස්ට් නිව්ස් | මන්නාරම) – සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මන්නාරමේ ජනතාව වීදි බසිමින් විරෝධතා ආරම්භ කර ඇත.   

ඊයේ (28) දිනයේ ද වව්නියාව ප්‍රදේශයේ ජනතාව මෙම අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව සහ ඔවුන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ පැවැත්විය.

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මුව ආවරණ පැළැඳ, දුරස්ථභාවය ආරක්ෂා කරමින් එම විරෝධතාවන් සංවිධානය කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා පසුගිය සෙනසුරාදා (24) අලුයම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරා වන රියාජ් බදියුදීන් පසුගිය (27) වන සිට දින 90 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන්ගේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකින් දැඩි විරෝධතාවයන් එල්ල වෙමින් පවතියි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටින්නේ ආණ්ඩුව මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් “දඩයම් කිරීමක” යෙදී සිටින බවයි.