FAST NEWS

24×7 Around the Globe

රිශාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්රස් නායක, පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

ඔවුන් දෙදෙනාව CID කණ්ඩායමක් විසින් පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමට පසුගිය 24 වනදා අත්අඩංගුවට ගැණුනි.

රිශාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන්ගේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකින් දැඩි විරෝධතාවයන් එල්ල වෙමින් පවතියි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටින්නේ ආණ්ඩුව මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් “දඩයම් කිරීමක” යෙදී සිටින බවයි.

විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන් පොන්නම්බලම් සඳහන් කර සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම් තම පක්ෂය දැඩිව හෙළා දකින බවයි.

මීට අමතරව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජනය කරමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇත.