ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල වරායේ නවතා ඇති ඇවන්ගාඩ් නැවේ පාවෙන අවි ගබඩාවේ තිබී සොයාගත් ආයුධ පරික්ෂා කිරීමට රජයේ රස පරික්ෂක කණ්ඩායමක් හෙට යළි ඇවන්ගාඩ් නැවට පැමිණිමට නියමිතය.
මෙම ආයුධ පරික්ෂා කිරීම සදහා රජයේ රසපරික්ෂක කණ්ඩායම ඊයේ ඇවන්ගාඩ් නැව වෙත පැමිණිමට නියමිතව තිබූ නමුත් එදින නොපැමිණි එම කණ්ඩායම හෙට ඇවන්ගාඩ් නැව වෙත එන බව වාර්තාවේ.
නැවේ කන්ටේනර් තුනක තිබූ ආයුධ තොගය පරික්ෂා කළ බරපතල වංචා සහ දූෂණ විමර්ෂණ ජනාධිපති ඒකකයේ නිලධාරින් කණ්ඩායම ආයුධ පිළිබද රසපරික්ෂක වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර තිබුණි.
ඒ අනුව ආයුධ තොගය පරික්ෂා කොට වාර්තාවක් ලබාදීමට රසපරීක්ෂක කණ්ඩායම නැව වෙත පැමිණෙනු ඇත.
මේ අතර ඇවන්ගාඩ් නැවේ ආයුධ පරික්ෂා කිරිමේ කටයුතු සොයාබැලිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධියර තුන ස්ථානාධිපති මෙරිල් රංජන් ඇතුලු කණ්ඩායමක් ද ඊයේ (02) ඇවන්ගාඩ් නැව වෙත පැමිණ තිබුණි.







