අනුරාධපුර පැනෝරාමා සමාජ ශාලාවේ අයිතිකරු වන කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝෂන් රණසිංහ හෙවත් ‘එස්.එෆ්. ලොකූ’ පෙරේදා (1දා) රාත්‍රි හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සමඟ එම වාහනයේ ගමන්ගත් සීදුව ප්‍රදේශයේ කාන්තාවක් සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවකුද අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සැකකරුට රැකවරණය ලබාදීම යටතේ අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකාරිය සහ සැකකරු ඊයේ (02)අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
ඔවුන් ගමන්ගත් මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන තිබේ.
පෙරේදා රාත්‍රි අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලිසියට ගෙන ආ ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මේ ඝාතනය සිදුකර ඇත්තේ එම සමාජශාලා හිමිකරු සමඟ කලක් තිස්සේ පැවැති අමනාපයක් හේතුවෙන් බවය.
මේ අතර මේ ඝාතනය සඳහා රැගෙන විත් තිබූ කඩු කීපයක් අනුරාධපුර ප්‍රදේශයේ වැවකට විසිකර දමා ඇති බවට ලැබී ඇති තොරතුරු පිළිබඳ පොලිස් නාවික නිලධාරීන් ඒවා සෙවීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයේ අවසරය ලබාගෙන පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු කීවේය.
සිද්ධිය වූ දිනයේ අපරාධය වූ ස්ථානයේ තිබී සොයාගත් ලේ සාම්පල් මෙන්ම සැකකරුවන් ඇඳගෙනවිත් තිබී හමුවූ පෝර උර ඇඳුම්වල දැවටී ඇති රෝම කූප පවා විද්‍යාත්මක පර්යේෂණයකට යොමුකිරීමට පොලිසිය තීරණය කොට තිබේ.
අනුරාධපුර ප්‍රදේශය භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි, ජේයෂ්ඨ පොලිස් අධිකාරි අතුල වීරසිංහ, මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්. ජයපද්ම යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.







