FAST NEWS

24×7 Around the Globe

සිසු ප්‍රහාර වල වගකීම අගමැති ඇතුළු ආණ්ඩුව ගත යුතුයි – ප්‍රසන්න.

පොලීසිය යොදවා සිසුන්ට පහර දුන් ආකාරය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය ආණ්ඩුව කොමිෂන් සභාවලට පැවරීම වෙනුවට අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් එහි වගකීම බාර ගත යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගිය ආණ්ඩුවේ වැරදි පෙන්වමින් බලයට පැමිණි මෙම යහපාලන ආණ්ඩුව පොලීසිය යොදවා සිසුන්ට පහර දුන් ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටිය දී ආණුඩුව ප්‍රශ්නය කොමිෂන් සභාවලට පවරා අත සෝදා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව ද  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ ප්‍රශ්නය කොමිෂන් සභාවලට පැවරීම වෙනුවට අගමැතිවරයා ඇතුළු මෙම ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් එහි වගකීම බාරගත යුතු බවයි.

‘මේ ආණ්ඩුව බලයට පත්වුණේ පහුගිය ආණ්ඩුව කරපු වැරදි කරන්නේ නෑ කියලා. රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට පහර දුන්නා කියලා ලොකු විවේචනයක් තිබුණා.  කඳුළු ගැස් වැදිලා වතුර ටිකක් ගන්න ගිහින් වැටුණු ශිෂ්‍යාවකට තමයි පොලීසිය වටකර ගෙන පොලුවලින් ගහන්නේ. මොන දේවල් කළා කිවුවත් පහුගිය ආණ්ඩුව මේ  ජාතියේ කැත වැඩ කළේ නෑ. මේ අමානුෂික පහර දීම පොලිසියට පවරා ආණ්ඩුවේ දේශපාලකයන්ට ගැලවෙන්න බෑ. ඒකෙ වගකීම හැම කෙනෙක්ම බාර ගන්න ඕනෑ‘යි මන්ත්‍රීවරයා පැවසී ය.