FAST NEWS

24×7 Around the Globe

වාහන සොරකම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි‌ පොලිසියෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ව්‍යාජ ලේඛන සකස්කර වාහන ජාවාරමක යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.       

කුලී පදනම මත ලබාගන්නා වාහන සඳහා ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකස්කර අඩු මුදලකට එම වාහන විකිණීම ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇත.

මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මේ අතර මාතර, අනුරාධපුර සහ මන්නාරම යන ප්‍රදේශවලින් ඊයේ (05) දිනයේදී යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධි 3 ක් වාර්තා වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ , සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් මෙවැනි සොරකම් කිරීම් සිදුකරන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවය.

ඒ හේතුවෙන් රියදුරන් සිය වාහන නවතා යෑමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කළයුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ට දැනුම් දෙයි.