හින්දු බැතිමත්හු උත්සවශ්‍රීයෙන් තෛපොංගල් දිනය සමරති

හින්දු බැතිමත්හු උත්සවශ්‍රීයෙන් තෛපොංගල් දිනය සමරති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දමිළ, හින්දු භක්තිකයින් මහත් හරසරින් සමරන තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ.

මෙහිදී තමන් කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදුකෙරේ.

මේ අතර ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වු නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා වේවා යන්න තෛපොංගල් උත්සවය සමරන දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදාකිරීම තමාගේත්, රජයේත් ඒකායන ප්‍රාර්ථනාව බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.

 

මේ අතර ස්වභාවධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානූෂිය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකාට වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු යනුවෙන් සඳහන් කරමින් සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කර තිබේ.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන තෛපොංගල් මංගල්‍යය නිමිත්තෙන් සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර  පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බවය.

මහජනයා අතර සුහදත්වය මෙන්ම, අන්‍යෙන්‍ය අවබෝධය උදාකර ගතහැකි උග්තුංග අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හඳුනාගත හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

මේ අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් නිවසට වී තෛපොංගල් උත්සවය සමරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියලු ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීමක් කරයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)