FAST NEWS

24×7 Around the Globe

අය – වැයට සමාන කාලයක් දෙන්නැයි අගැමතිගෙන් උපදෙස්.

රජයේ මංගල අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන අය-වැය විවාදයට සහභාගි වන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට ලබා දෙන කාලයට සමාන කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභානායක, මහා මාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් දී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැඟූ ජාතික ආණ්ඩුවේ මංගල අය-වැය පක්ෂ‍ දෙකේම ප්‍රතිපත්ති මත සකස් වේ. නොවැම්බර් 20 දා මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට අය-වැය ඉදිරිපත් කෙරෙන අතර අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 21 දා ආරම්භ වේ. එක් මාසයකට තරුණ තරුණියන් පන්දහසකට වෘත්තිය පුහුණුව ලබා දීමේ වැඩසටහනක් එළැඹෙන අය-වැය මගින් හඳුන්වා දීමට යයි.

නූතන අවශ්‍යතා අනුව වෘත්තිය පුහුණුව ලබා දීමට සැලසුම් ඉදිරිපත් කෙරෙන අතර පුහුණුව අතරතුර දී මසකට රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමටත් සැලසුම් කෙරේ. රැකියා ඉල්ලුම බහුල කෙෂ්ත්‍ර සඳහා තරුණ තරුණියන් පන්දහසක් බඳවා ගැනීමටත් නියමිතය අතර මාසික වේතනය රුපියල් පනස් දහසකට අධික රැකියාවලට මොවුන් යොමු කිරීමටද සැලසුම් සකස් කෙරේ.

පාරිභෝගිකයාට වැඩිබර නොපැටවෙන ආකාරයට දේශිය කෘෂි නිෂ්පාදන වැඩි කිරීමේ ක්‍රියාමාර්ගද අය-වැය මගින් හඳුන්වා දීමට පුළුල් අවධානය යොමු වී තිබේ.