FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති අදත් ජනපති කොමීසම හමුවට.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද නැවත වරක් බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරය කළ වෙළද දැන්වීම් සඳහා ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද සහ හෙට දිනවලදීත් ජනාධිපති කොමිසම මගින් මහජන සාක්ෂි විමසීමට නියමිතව තිබේ.

ඒ සඳහා කොමිසම හමුවේ යළිත් වරක් පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත.

පසුගිය මස 23 වනදා හිටපු ජනාධිපතිවරයාගෙන් මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබුවේ ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිප දෙනෙකු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට යාමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපතිවරයාට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණේ පසුගිය මස 17 වනදායි. එහෙත් පසුව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දැනුම්දී තිබුණේ පසුගිය 23 වනදා පස්වරුවේ ඒ සඳහා පැමිණෙන ලෙසයි. ඒ අනුව ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහුගේ මිරිහානේ පිහිටි නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මීට පෙර කිහිප දෙනෙකු බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි. නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී.ජයසුන්දර ද ඒ අතර වේ.

එමෙන්ම, ස්වාධීන රූපවාහිණි සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන සහ එහි වර්තමාන කළමනාකරණ නිලධාරීන්ගෙන් ද බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තේය.

මෙම කොමිසමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොමිසම පසුගියදා ප්‍රතික්ෂේප කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමට පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරුන් මෙම විරෝධතාව ගොනු කළේය.