FAST NEWS

24×7 Around the Globe

මහර බන්ධනාගාර ගැටුමේ වාර්තාව ලබන සතියේ

(ෆාස්ට් නිව්ස් | මහර) – පසුගියදා මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ පූර්ණ වාර්තාව එළඹෙන 30 වැනිදා විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව ඇත.   

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි ෂබ්රි විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර , එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත්කරනු ලැබීය.

ඊට අමතරව ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර එහි සෙසු සාමාජිකයින් වේ.

බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවේ කාර්යය භාරයයි.