FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් වලින් ගිය මුස්ලිම් පුද්ගලයෙකුගේ දේශය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – කොරෝනා ආසාදනයවීමෙන් මියගිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ සිරුර ආදාහනය නොකර ශීතාගාරයක තැන්පත්කරන ලෙස ගාල්ල අධිකරණය නියෝග කරයි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් කළ ඉල්ලීමක් අද සලකා බැලූ ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය මේ බව නියෝග කර ඇත.

මෙහිදී අදාළ මළ සිරුර ආදාහනය නොකර රජය විසින් පත්කර ඇති කමිටුවේ තීරණය ලැබෙන තෙක් කරාපිටිය රෝහලේ අධි ශීතකරණයක තැන්පත් කරන ලෙස නියෝග කරන ලදී.

ගාල්ල, දේදුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා වෛරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහු තිදරු පියෙක් බව වාර්තා වේ.

මොහුගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබුණ ද මියගිය අයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ ආදාහනය කරන්නේ නම් දේහය භාර නොගන්නා බවය.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ නඩුව අද (21) ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවේ කැඳවා තිබුණි.