FAST NEWS

24×7 Around the Globe

මහරදී මියගිය රැඳවියන්ගේ සිරුරු සම්බන්ධ නියෝගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමට පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිද විද්වත් මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධ නියෝගය වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) ලබාදීමට නියමිතව ඇත.   

මෙම බහුවිද විද්වත් මණ්ඩලයට ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන් 03 දෙනෙකු, ගිනි අවි විශේෂඥයෙකු වන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හා වෝහාරික විද්‍යා ආයතනයේ වෛද්‍යවරයෙකු ඇතුළත් විය යුතු බව නීතිපතිවරයාගේ ස්ථාවරය වී ඇත.

කෙසේවෙතත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෛද්‍යවරයෙකු ද එම විද්වත් කමිටුවට ඇතුළත් කරන ලෙසයි.

මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර ඇති මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ සිරුරු අතරින් 08කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර නිරෝධායන නීති අනුව කටයුතු කරන්නේ නම් එම සිරුරු ආදාහනය කළ යුතුව ඇති බව රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නාය.