අනුරාධපුර – කඩපනහ – මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලා හිමිකරු වන කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අත්අඩංගුවට ගත් අය අතර නිවාඩු නිකේතන හිමිකරුවන් දෙදෙනෙකුද සිටින බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිපදෙනෙකු සහ සමාජශාලා හිමිකරු අතර පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවද ඔහු සඳහන් කළේය.
එසේම ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද පොලීසිය අද උදෑසන සොයාගත්තා. එසේම සැකකරුවන් රැගෙන ආ යකඩ පොල්ලක්, ලී පොලූ හතරක්, පොරෝ තලයක් සහ අඩක් පිලිස්සුනු පොරෝ මිටක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේය.
එසේම ඝාතනය සඳහා පැමිණි තවත් සැකකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව ඔහු අනාවරණ කළේය.
වසන්ත සොයිසා නමැති මෙම සමාජශාලා හිමිකරු ඝාතනයට ලක්වූයේ පෙරේදා රාත්‍රියේයි.







