FAST NEWS

24×7 Around the Globe

රටේ දැන් පවතින කොවිඩ් අවධානම ගැන අලුත්ම තත්ත්වය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ කොවිඩ් පොකුර වැනි විශාල කොවිඩ් පොකුරු නිර්මාණය වීම ඉදිරියේදී සෞඛ්‍ය අංශයට දරාගැනීමට නොහැකිවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් දැඩි අපහසු තත්ත්වයකට රටටම මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

මේ වන විට සක්‍රීය වුණු රෝගී උපපොකුරු කිහිපයක් තිබේ. ඒ මුලින් පටන් ගත් මිනුවන්ගොඩ පොකුර, පසුව කොළඹ නැව් තටාකාංගණය ආශ්‍රිත පොකුර, මතුගම ප්‍රදේශයේ අගලවත්ත ප්‍රදේශයේ පොකුර. අනතුරුව කුලියාපිටිය ප්‍රදේශයේ පොකුරක් නිර්මාණය වුණි. කහතුඩුව ප්‍රදේශයේ දැන් යම් අවදානමක් මතුවෙලා තිබේ. මේ විදිහට රෝගී උපපොකුරු ගණනාවක්ම නිර්මාණය වෙමින් තිබීම දැඩි අවධානමකි. වඩා භයානක වෙන්නේ පෑලියගොඩ පොකුර වැනි පොකුරක් හදිසියෙන්ම යළි බිහි වුවොත් එය පාලනය කිරීම ඉතා අපහසු වන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එමනිසා පොකුරු නිර්මාණය වන තැනට වැඩකටයුතු නොකිරීම ජනතාව සතු වගකීමකි. එසේම නිර්මාණය වී ඇති පොකුරු අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරීමට සියළු දෙනා කැපවීමේ ජාතික වගකීමක් ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.