FAST NEWS

24×7 Around the Globe

ගුවන් ගමනට විමල්ට අගමැතිගෙන් සහනයක්. (update)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ යුරෝපා සංචාරයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ වග ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

විමල් වීරවංශ මහතා අද (23) පෙරවරුවේ ගුවන්තොටුපළ පරිශ්‍රයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධා‍රීන් විසින් රඳවාගෙන සිටින බවත්, එසේ රඳවාගෙන සිටින්නේ මන්දැයි යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුව රැස්වූ වහාම අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබේ.එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අධිකරණ නියෝගයක් හේතුවෙන් එලෙස රඳවාගෙන සිටීනම් තමාට කළ හැකි දෙයක් නොමැති නමුත් වෙනත් හේතුවක් නිසා එලෙස රඳවාගෙන සිටීනම් තමන් ඒ පිළිබඳ සොයාබලා තතු දැනුම්දීමක් කරන බවයි.

එ අනුව අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ සොයාබලා ඇති බවත්, වීරවංශ මහතා විදෙස්ගතවීම සඳහා පැමිණ ඇත්තේ අස්ථානගතවීම නිසා අවලංගු කරන්නැයි කළ ඉල්ලීමක් අනුව අවලංගු කරන ලද විදෙස් ගුවන්බලපත්‍රයකින් හේතුවෙන් ඔහු රඳවා ප්‍රශ්න කර ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් නීතිමය කටයුතු වලට බාධා නොවන පරිදි වීරවංශ මහතාට විදෙස්ගතවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කරන බව අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දී ඇතැයි කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.