FAST NEWS

24×7 Around the Globe

විදේශීය නිතී විශාරදයන්ගේ සේවය ලබා ගත්තේ නැහැ – මහින්ද

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හෝ පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවකදී තමා විදේශීය නීති විශාරදයන්ගේ සේවය ලබා නොගත් බව හිටපු ජනාධිපති පා.ම.මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එය ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කාර්යයක් බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා සමග ඊයේ (21දා) පැවැත්වූ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා ඉහත අදහස් පළ කළේය.

අතුරුදන්වූවන්ගේ කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා තමාට ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීමක් පරිදි එම කොමිසමට ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුද නීතිය) හා ජාත්‍යන්තර මානව අයිතීන් පිළිබඳ අදහස් දැක්වීමට පමණක් ජාත්‍යන්තර නීති විශාරදයන් කිහිප දෙනෙකු ගෙන්වාගත්තද අදහස් දැක්වීමෙන් ඔබ්බට ඔවුන්ගේ කාර්යයන් සිදුනොවුණු බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අවස්ථාවේ නොගුචි මහතාද එයට එකඟතාව පළ කළේය.