FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ කොප් කමීටුවේ සභාපති ධුරය ඉල්ලයි.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරය තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙසට ජනතා විමුක්‌ති පෙරමුණ කථානායක කරු ජයසූරිය මහතාගෙන් සහ ආණ්‌ඩු පක්‍ෂයෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

කෝප් කමිටු සභාපති ධුරය භාර ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ සූදානම් බවද නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මෙතෙක්‌ පිහිටුවා නැති නිසා සභාපති ධුරය තම පක්‍ෂයට ලබා දෙන ලෙසද ජවිපෙ ඉල්ලීමක්‌ කර තිබේ.

කෝප් කමිටු සභාපති ධුරයට විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ පත්වූවහොත් එය අපක්‍ෂපාතීව සිදුකරගෙන යා හැකි බවද පසුගිය කාලයේ සභාපති ධුරය දැරුවේ රජයේ ඇමැතිවරයෙක්‌ බැවින් එහි කටයුතු නිසිලෙස සිදු නොවූ බවද ජවිපෙ කථානායකවරයාට සහ ආණ්‌ඩුවට දැනුම් දී ඇත.

නව ආණ්ඩුව පත්වීමත් සමඟ නව කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයකට ලබා දෙන බවට මීට පෙර ආණ්ඩුවේ කතාබහක් තිබිණි. කෝප් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සාමාජිකයන් දරද්දී එම කමිටුව මඟින් පවත්වනු ලැබූ දූෂණ වංචා සම්බන්ධයෙන් වන පරීක්ෂණ හරියාකාර ක්‍රියාත්මක නොවූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මීට පෙර පැවැති කෝප් කමිටුව සඳහා එම පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා කමිටු සාමාජිකත්වය දැරූ අතර නව කමිටුවේ සභාපති ධුරය එම පක්ෂයට ලබාදුනහොත් එහි සභාපතිත්වය සඳහා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරනු ලබන සුදුසු අයකු තෝරා පත්කරන බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත.