FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ පස්දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාරාහේන්පිට සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලදී අන්තර්ජාලය ඔස්සේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් වංචා කළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ව්‍යාජ ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස්ගත ශ්‍රමිකයින් හට සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබාදෙන බවට ඔවුන්ගේ දුරකතන අංකවලට දැනුම් දී ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබා ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

විදෙස්ගත ශ්‍රමිකයෙකුගේ ගිණුමකින් කළ රුපියල් ලක්ෂ 5 ක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කූඨ ලේඛන සහ ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර ඇති බවට ද මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන් ළඟ තිබී ව්‍යාජ බලපත්‍ර යොදා ගැනීමට යොදා ගත් ලැප්ටොප් පරිගණකයක්, බැංකු කාඩ්පත්, ලැමිනේටින් උපකරණයක්, රියැදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් 925 ක්, ව්‍යාජ රබර් මුද්‍රා 02ක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර 61 ක් සහ ජාත්‍යන්ත රියදුරු බලපත්‍ර 05 ක් සිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් 30,39,38 සහ 46 හැවිරිදි වියේ පසුවන පිටබැද්දර, නාරාහේන්පිට , සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල පදිංචිකරුවන් ය.

සැකකරුවන් සන්තකයේ තිබූ මෝටර් රථයක් සහ වෑන් රථයක් ද, පොලීසිය භාරයට ගෙන ඇත.

අද (27) ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.