FAST NEWS

24×7 Around the Globe

CIMA ගෝලීය උප සභාපති ලෙස තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ 101 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී සිය ගෝලීය සාමාජිකයින්ගෙන් 88% කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තකයකුවූ මෙලනි ජැනින් කනක මහත්මිය, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (Chartered Institute of Management Accountants – CIMA)  පසුගිය ජුනි 3 වැනිදා පැවැති නිලවරණයෙන් අභිනව  ගෝලීය උප සභාපතිනිය (Global Vice President) ලෙස තේරී පත්වූවාය.

CIMAහි වසර 100 ක ඉතිහාසයේ, මෙම කීර්තිමත් ධුරයට එක්සත් රාජධානියෙන් පිටතින්  පත් ව සිටින පළමු කාන්තාව බවට වීමේ භාග්‍යය කනක මහත්මිය ලද අතර, මෙම ගෝලීය තනතුර තුලින් රටවල් 179 ක 650,000 කට අධික සාමාජිකයින් හා ශිෂ්‍යයින්ට ඇය නායකත්වය සපයනු ඇත.

2009 දී CIMA ගෝලීය සාමාජික මණ්ඩලයට ආරාධනා කරන ලදුව එක්සත් රාජධානයට පිටතින්  තේරී පත් ව සිටි පළමු ශ්‍රී ලාංකික සාමාජිකාව වීමේ භාග්‍යය ලද කනක මහත්මිය 2013 දී CIMAහී දකුණු ආසියාව සඳහා වන කවුන්සිලයට වසර තුනක කාලයක් සඳහා තේරී පත්ව එහි බොහෝ කමිටුවල සේවය කළාය. ඒවා සමහරක් නම් සාමාජිකත්ව කමිටුව, නිරන්තර ඉගෙනුමි කමිටුව, තාක්ෂණික කමිටුව සහ සාමාජික සේවා කමිටුවයිි.  2019/2020 දී එහි වෘත්තීය ප්‍රමිති සහ චර්යා කමිටුවේ මුලසුන දරමින්  සාමාජිකත්වය සඳහා නව අභියාචනා ක්‍රියාවලියක් හා සංශෝධිත ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දුන්නාය.

2000 දී CIMA සාමාජිකත්වයට ඇතුළත් වූ මැය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ දකුණු ආසියාව පුරා සාංගමික මූල්‍යය සහ සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 30 ක පළපුරුද්දක් ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ බෙල්සවූත් සහ ශ්‍රී ලංකාවේ  ඩීඑෆ්සීසී බැංකුව, හේලීස් සමූහය සහ මාස් හෝල්ඩින්ග්ස් හි සේවය කර ඇත.

ඇමරිකානු සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (Association of International Certified Professional Accountants) අධ්‍යක්ෂවරියක් ද වන කනක මහත්මි්ය, මේ වන විට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ මූල්‍ය හා පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නිය.

ෆුල්බ්‍රයිට් ශිෂ්‍යධරයකු ද වන ඇය ඇමරිකා එක්සත් ජනපදයේ එමරි විශ්ව විද්‍යයාලයේ ගොයිසුටා ව්‍යාපාරික පාසලෙන් ජාත්‍යන්තර මූල්‍ය හා සාංගමික උපාය මාර්ග (Corporate Finance and Development Banking) පිළිබඳ  ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යයාලයෙන් පළමු පන්තියේ ව්‍යාපාරවේදී (විශේෂ) උපාධියක් ලැබූ ඇය, කොළඹ බිෂොප් විදය්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් හා ශ්‍රී ලංකාවේ ජාතික සංචිතයේ හිටපු පිහිනුම් ක්‍රීඩිකාවක්ද වන්නිය.