FAST NEWS

24×7 Around the Globe

රුසියානු ප්‍රහාරක යනා බිම හෙළිමට බ්‍රිතාන්‍ය සැරසෙයි.

ඉරාකයේ ගුවන් මෙහෙයුම් වල නිරතවන බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදා නියමුවන්ට රුසියානු ප‍්‍රහාරක යානා විසින් එල්ල කරන තර්ජනයකදී ඒවා පහරදී බිම හෙළීමට නියෝග ලැබී ඇතැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය විසින් පළ කළ පුවතක් දැඩි ආන්දෝලනයකට තුඩුදී ඇතැයි වාර්තා වේ.

ඬේලි ස්ටාර් සහ සන්ඬේ ටයිම්ස් පුවත්පත් විසින් බි‍්‍රතාන්‍ය හමුදාවේ නිර්නාමික නිලධාරියකු උපුටා දක්වමින් පවසා තිබුණේ ඉරාකයේ ෂේඩර් මෙහෙයුමේ නිරතව සිටින ටෝර්නාඩෝ GR4 ප‍්‍රහාරක යානා අස්රාම් කෙටි දුර තාප සංවේදක ගුවන් මිසයිල වලින් සන්නද්ධ කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙතෙක් කල් රාජකීය ගුවන් හමුදා ප‍්‍රහාරක යානා සඳහා ලබාදී තිබුණේ රාත්තල් 500 චන්ද්‍රිකා නියෙමු බෝම්බ පමණක් වුවත් පසුගිය සතිය තුළ තත්වයන්ගේ සිදුවූ වෙනස්කම් සමග ව්ලැදිමීර් පුටින්ගේ ජෙට් යානා විනාශ කිරිමේ හැකියාව බි‍්‍රතාන්‍යයට අවශ්‍ය බව එම ආරංචි මාර්ගය විසින් පවසා තිබේ.

ඉරාක අහසේදී රුසියානු ප‍්‍රහාරක යානාවක් හමුවුවහොත් එය මගහැර යාම බි‍්‍රතාන්‍ය නියමුවන්ගේ පළමු ක‍්‍රියාමාර්ගය විය යුතු යයි උපදෙස් දී ඇතැයිද පැවසේ.

මේ පුවත පිලිබඳව රුසියාව වෙතින් දැඩි ප‍්‍රතිචාරයක් එල්ලවී ඇති අතර ඉරාකය තුළ රුසියානු ප‍්‍රහාරක යානා මෙහෙයුම් ක‍්‍රියාත්මක නොවන තත්වයක් තුළ මෙය වාර්තාවීම එයට ප‍්‍රධාන හේතුව වී තිබේ.

රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති අතර මෙම වාර්තා අසත්‍යයක් බව බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය සිය වෙබ් අඩවියේ දක්වා ඇත.