FAST NEWS

24×7 Around the Globe

සේයා ඝාතනය – මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අචාර ධර්ම බිඳියි.(update)

කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ පාසල් සිසුවා සම්බන්ධයෙන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් පරස්පර විරෝධී හා ආචාර ධර්මවලට පටහැනි වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇතැයි මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.

මේ ගැන විමසීමට ඔහු කැඳවීමටද කොමසාරිස් ප්‍රියන්ත පෙරේරා හා නිමල් පුංචිහේවා මහත්වරු තීරණය කළහ.

පසුගිය සැප්තැම්බර් 21 වැනිදා එක් වාර්තාවක්ද සැප්තැම්බර් 30 වැනිදා තවත් වාර්තාවක්ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදැයි කොමිසමේදී කියැවිණි.

සිසුවාද ඔහු සමග නිදහස් කළ එක්දරු පියාද නීතිඥවරුද පැමිණ සිටියහ.

පැමිණිල්ල ඉදිරිපත් කැරුණේ ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින්ය.

———————————- (update)

සේයා ඝාතනය – කොටදෙනියාව සිසුවාත් මානව හිමිකම් යයි.

කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නීති විරෝධීව පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බවට ලංකා ගුරු සංගමය ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගයට සහභාගී වීමට එම පාසල් සිසුවා ද, ඔහු සමග නිදහස් වූ එක්දරු පියකු වන කැළුම් අත්තනායක ද මීට ටික වේලාවකට පෙර මානව හිමිකම් කොමිසමට පැමිණියහ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද පැමිණිල්ල විභාගයට ගනී.

පෙත්සමේ වගඋත්තරකරුවන් වන කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, එම පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී සහ පොලිස්පති වෙනුවෙන් පොලිස් නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ගාල්ලගේ මහතා ද කොමිසමට පැමිණියහ.

පැමිණිලි කරු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද, ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ජගත් ආනන්ද මහතා ඇතුළු පිරිසක් ද පැමිණ සිටිති.

සේයා ඝාතකයන්ට දඩුවම් දෙන්නැයි ඉල්ලමින් අද පෙරවරු 10.30ට පමණ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්විණි. 100ක් පමණ ඊට සහභාගී වූහ.