FAST NEWS

24×7 Around the Globe

ප්‍රතිකාර ලබන කළු කොටියාට වායුසමනය කරන ලද විශේෂ කුටියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මද්දකට හසුවීමෙන් තුවාල ලැබූ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින පැන්තෙරා පාදුස් වර්ගයේ දුර්ලභ කළු කොටියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව උඩවලව ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් පවසයි.

පසුගිය 26 වැනිදා ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ මෙම කළු කොටියා මන්දකට හසුවී තුවාල ලබා සිටියදී වනජිවි නිලධාරින් විසින් සොයාගනු ලැබුවේ ලක්ෂපාන වතුයායේ – වාලමනේ ප්‍රදේශයේදීයි.

පසුව මෙම කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණට භාරදුන් අතර, එහි විශේෂ කුටියක මෙම කොටියා ප්‍රතිකාර ලබන බව සඳහන්.

උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සඳහන් කළේ සීත ප්‍රදේශවල සැරිසැරූ මෙම කොටියාට අවශ්‍ය පරිසර උෂ්ණත්වය ලබාදීම සඳහා වායුසමනය කරන ලද විශේෂ කුටියක රඳවා ඇති බවයි.

එමෙන්ම, සී.සී.ටී.වී. තාක්ෂණය ඔස්සේ දෛනිකව කොටියාගේ චර්යා රටාවන් නිරීක්ෂණය කරන බව වැඩිදුරටත් සඳහන් වෙයි.