FAST NEWS

24×7 Around the Globe

ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නෑ – ජනපති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැති බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ (14) පස්වරුවේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව අවධාරණය කළ ජනපතිවරයා එහිදී රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

වසර ගණනාවක් තිස්සේ එතනෝල් ආනයනය නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත් බවද පෙන්වා දුන් ජනපතිවරයා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී එම තීරණය වෙනස් නොකරන බව ද ප්‍රකාශ කර තිබේ.