FAST NEWS

24×7 Around the Globe

FCID යේ ඒකක 2 ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතිසි.

පසුගිය ජනාධිපතිවරණයට සමගාමීව රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීමේ සිද්ධියේ සැකකරුවන් වන ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 2 ස්ථානාධිපතිට නොතිසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (08) නියෝග කළේය.

‍චෝදනාවලට සම්බන්ධ විත්තිකරුවන් පොලිසිය විසින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා බුදුන්ගේ ‘වාසෙට්ට සූත්‍රය’ අනුව සියලු පුරවැසියන් එක හා සමාන විය යුතු බව අවධාරණය කරමින් වෙනත් ක්‍රම මඟින් නොව විවෘත අධිකරණය තුළ දී සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු තමාට දැක්විය යුතු බවට පිටු 41කින් සමන්විත නියෝගයක් මඟින් සඳහන් කර සිටියේය.

තවද පැමිණිල්ල නිවැරදිව මෙහෙයවීමට නීතිපතිවරයා මැදිහත් විය යුතු බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා පොදු දේපළ පනත අනුව සිතාසි නිකුත් කර සැකකරුවන් අධිකරණයට කැඳවීමේ ප්‍රතිපාදන එම පනතේ නොමැති බව පැවසීය.

රහස් පොලිසිය ඊයේ අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ 2015/9/18 දින ජනපති කාර්යාලයේ හිටපු ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට සිතාසි නිකුත් කර ඇති බවය.

තවද 2015/10/07 දින ඔවුන් මහාධිකරණය මඟින් ඇප මත මුදා හැර ඇති බැවින් නඩු කටයුතු අවසන් කිරීමට හා මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අනූෂ පැල්පිට මහතාට නිකුත් කර තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පිටු 41 නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා පොලිසියේ ක්‍රියා කලාපය අධිකරණ තීන්දු ද එක් කරමින් මනාව පැහැදිලි කර තිබිණ.

මෙම නඩුවේ පැමිණිල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වන අතර මෙම ආයතනයට පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට හා සැකකරුවන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව පවසන මහේස්ත්‍රාත්වරයා ඒ අනුව විමර්ශන නිලධාරීන් සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබූ බව සඳහන් කර සිටී.

නමුත් විමර්ශන අවසන් බවට 2015/09/15 දින වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට දැන්වූවත් සැකකරුවන් ඉදිරිපත් කිරීමට මෙතෙක් පොලිසිය පියවර ගෙන නොමැති බවත් සඳහන් කරන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් කවුරුන්ද යන්න දැන ගැනීමට මහේස්ත්‍රාත්වරයාට අයිතියක් ඇති බවට සිය නියෝගයෙන් විනිසුරුවරයා පෙන්වා දෙයි.

පොලිසිය ආගමන විගමන පනත අනුව ක්‍රියා කර විදේශ තහනම් පවා ගෙන ඇති බව සඳහන් කරන මහේස්ත්‍රාත්වරයා මුල්ගොනුව 2015/09/14 මහාධිකරණයට යවා ඇති බවත් එකී ඉල්ලීම මෙම අධිකරණයට 2015/09/15 බවත් පොලිසිය එදිනම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ගොනු කළත් සැකකරුවන්ට අධිචෝදනා ගොනු කර ඇත්ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් එම වැඩිදුර වාර්තාවේ නොතිබුණු බවට මහේස්ත්‍රාත්වරයා නියෝගය මඟින් පෙන්වා දී තිබිණ.

තවද මෙම නඩුවට අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයිදැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසන මහේස්ත්‍රාත්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලික නීතිය අනුව පොදු දේපළ පනත අනුව සියලු සැකකරුවන් විභේදනයකින් තොරව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බවට කරුණු සිය නියෝගයේ සඳහන් කර තිබිණ.

පැමිණිල්ල වන මෙම නඩුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ යුත්තේ විමර්ශන අවසන් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වන බව පවසන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබා දෙන්නේද රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද යන්න අධිකරණමය කාර්යයක් බව සඳහන් කරයි.

විමර්ශන අවසන් වී සැකකරුවන් හඳුනාගත් පසුව ඔවුන්ව මහේස්ත්‍රාත්වරයා හමුවට නොගෙනවිත් සිටීමට බලයක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නොමැති බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම විමර්ශන අවස්ථාවේදී සිදු කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා පෙන්වා දෙයි.

අධිකරණයෙහි අභිමුඛව නැති සැකකරුවෙකුට නියෝග කර ඇති විදේශ තහනම ඉවත් කිරීමට පැමිණිල්ල වැඩිදුර වාර්තාවකින් ඉල්ලා තිබෙන බව සඳහන් කරන මහේස්ත්‍රාත්වරයා මූලික නීතිය අධිකරණ සංවිධාන පනත මඟින් මහේස්ත්‍රාත් අධිකරණය සතු බලය අවසංකල්පනය නොකොට යටපත් නොකොට මෙම නඩුවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 2 ස්ථානාධිපතිට අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට නොතිසි නිකුත් කිරීමට නියෝග කර තිබිණ.

මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව විවෘත අධිකරණයේ සිටි සියලුම නීතිඥයින් නැගිට මහේස්ත්‍රාත්වරයාගේ මෙම නියෝගයට ආචාර දක්වා ප්‍රශංසා කරන්නට විය.