FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ පදිංචි ලාංකික ප්‍රජාව හමුවෙයි.

පස් දින නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණ සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෝකියෝ නුවර ඉම්පීරියල්හි දී ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවිය.

‘සාම්ප්‍රදායික සටන් පාඨ දේශපාලනයේ හිරකරුවන් සිටි යුගය අවසන් කර වසර දෙකක කාලයකට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවී රට හදන යුගය දැන් උදා කර තිබෙනවා. දශක හයකට පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවූ විරල අවස්ථාවෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීම සෑම කෙනකුගේම අපේක්ෂාව විය යුතුයි‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා එහි සිටි ලාංකිකයන් අමතමින් පැවසීය.

මෙම අවස්ථාවට ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස, මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක අලූබෝමුල්ලේ රතනසිරි, ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රේඩ් – ලේක් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රාහ්මණගම මුදිත යන නාහිමිවරු ඇතුලු මහා සංඝරත්නය ද, මුදල් අමාත්‍ය රවී කරුණානායක, විද්‍යා තාක්ෂණ සහ තාක්‍ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක යන මහත්වරු ද, ජපානයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද සහභාගි වූහ.