සීගිරියේ චමත්කාරය, සුන්දරත්වය, ආකර්ෂණය මෙන්ම එහි සංස්කෘතික උරුමය අවට පරිසරයේ සත්ව හා ශාක ලෝකය ආරක්ෂා වන අයුරින් එහි සංචාරක ආගමනය සඳහා වූ ඉදිරි ප්‍රවර්ධන පියවරයන් සඳහා කටයුතු කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
සංචාරකයින්ගේ අවධානය සීගිරියට යොමුව ඇත්තේ එහි පවතින ආකර්ෂණීය බව නිසාය. සීගිරිය අවට පරිසරය මෙන්ම එහි ජීවත් වන මිනිසුන්ට බාධාවක් නොවන අයුරින් මෙම කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව පරිසර සංවිධාන සමග සාකච්ඡා කරනවා. ඔවුන්ගේ උපක්‍රම අනුව පරිසරයට හානියක් නොවන අයුරින් බඹරුන් පරිසරය තුළ රඳවා ගනිමින් කටයුතු කරනවා.
වියළි කලාපීය පරිසරයක් තුළ පිහිටි සීගිරිය අවට අලි ඇතුන් සැරිසරනවා. අලුයම් කාලයේ සීගිරිය ගල මුදුනේ හිරු උදාව නැරඹීමට අවස්ථාව සලසා දීම අභියෝගයක්. සීගිරි පර්වතය මුදුන දක්වා සංචාරකයන්ගේ ගමන් මාර්ගයට විදුලි ආලෝකය සැපයීම, එම විදුලි ආලෝකය බඹරුන්ට සංවේදී නොවන අයුරින් වෙනත් දිශාවකට සකස් කිරීම, අලි ඇතුන්ගෙන් හා වන සතුන්ගෙන් සංචාරකයින්ගේ ආරක්ෂා කිරීමට ශක්තිමත් ආරක්ෂක ජාලයකින් යුතුව පරිසර සංවිධාන සමග අදහස් හුවමාරු කරගෙන ඉදිරියේදී හිරු උදාව නැරඹීමට අවශ්‍ය පහසුකම් සංචාරකයන්ට ලබාදීමට පියවර ගන්නවා යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.







