FAST NEWS

24×7 Around the Globe

ලබන සඳුදා සිට මාසික ඖෂධ තැපැල් මගින් බෙදීමේ වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තැපැල් සේවය ඒකාබද්ධව රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා මාසයකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන්ට ඖෂධ ලබාදීම සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකථන අංකය ලබාදීම මෙහිදී අවශ්‍ය වන අතර තමන්ගේ සායනික පොත සමග නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම් දුරකථන මාර්ගයෙන් අදාළ රෝහළට ඇමතුමක් ලබාදී තොරතුරු යාවත්කාලීන කල යුතු වේ.

අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගියාගේ ඖෂධ පැකට්ටුව සකස් කර ලිපි බෙදන තැපැල් නිළධාරියා මගින් ගෙනවිත් භාරදීමයි එහිදී සිදුවේ.

ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී සහ ග්‍රාම නිළධාරීවරයාගේ සහය ද මෙම වැඩපිළිවෙල සඳහා ලබාගැනීමට සුදුසු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දන්වා සිටියි.

බොහෝ දුරට ලබන සඳුදා සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා පැවසුවේය.