අමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කර මේ වන විට රටින් පළා ගොස් සිටින එඩ්වඩ් ස්නෝඩන් ට්විටර් ගිණුමක් ආරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එඩ්වඩ් ස්නෝඩන් සිය ට්විටර් ගිණුමේ අනුගාමිකයෙකු ලෙස එක්කරගෙන ඇත්තේ, අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය පමණක් බව ය.
එඩ්වඩ් ස්නෝඩන් ට්විටර් ගිණුමක් ආරම්භ කර ප්‍රථම ට්වීට් පණිවුඩය නිකුත් කර පැය 3ක් තුළ ඔහුගේ අනුගාමිකයින් සංඛ්‍යාව 450000 ඉක්මවා තිබේ.
ඔහුගේ ප්‍රථම ට්වීට් පණිවුඩය වූයේ, Can you here me now හෙවත් දැන් ඔබට මාව ඇසෙනවා ද යන්න ය.
රජයට සේවය කළ තමා දැන් මහජනතාව වෙනුවෙන් සේවය කරන බව ද ඔහු සිය ගිණුමේ සඳහන් කර තිබේ.
ට්විටර් ගිණුමේ සියලු කටයුතු එඩ්වඩ් ස්නෝඩන් විසින් පාලනය කරනු ලබන බව ඔහුගේ නීතිඥවරයා මාධ්‍ය වෙත දන්වා සිටියේ ය.
අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ රහසිගත ඔත්තු බැලීමේ සේවා පිළිබඳ ලොවට හෙළි කළ ස්නෝඩන් මේ වන විට රුසියාවේ රැකවරණය ලබයි.
රජයේ දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ස්නෝඩන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඔප්පු වුවහොත් ඔහුට වසර 30ක සිර දඬුවම් විඳීමට සිදු වනු ඇති.







