(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා දින නියමකර තිබේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවි නැඟුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න රජයේ මුදල් මෙලෙස සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔහුට චෝදනා එල්ල වෙයි.
බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය අගෝස්තු 06 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.
2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවට දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට මිලදී ගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් රජය සමයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.








