FAST NEWS

24×7 Around the Globe

විදුලිය ඇනහිටීමට හේතුව “අඩු ඉල්ලුම” විමර්ශනයෙන් හෙළි වේ.

දිවයින පුරා පෙරේදා (27 වැනිදා) රාත්‍රී 11.53 පමණ සිට ඊයේ (28 වැනිදා) අලුයම 4.00 පමණ දක්‌වා පැය 04 කට ආසන්න කාලයක්‌ පැවති හදිසි විදුලිය ඇනහිටීමට හේතුව ජාතික විදුලි පද්ධතියේ ඉතා අඩු විදුලිය ඉල්ලුමක්‌ පැවතීම බව මේ සම්බන්ධව විමර්ශනය කළ විදුලිබල මණ්‌ඩලයේ විශේෂ කමිටුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

සාමාන්‍යයෙන් සති අන්තයේ රාත්‍රි කාලයේ විදුලිය ඉල්ලුම මෙගාවොට්‌ 1,900 ක්‌ පමණ වන අතර පෙරේදා (27 වැනිදා) රාත්‍රියේ විදුලි ඉල්ලුම මෙගාවොට්‌ 1,775 පමණ දක්‌වා සුවිශේෂී ලෙස අවම වී තිබේ.

මීට හේතුව පැවැති දීර්ඝ නිවාඩුව සහ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය විය හැකි බව විමර්ශන කමිටුව පවසයි.

පෙරේදා රාත්‍රී 12.53 ට පමණ පැවැති විදුලි ඉල්ලුම මෙගාවොට්‌ 940 ක්‌ පමණ දක්‌වා අඩු වී තිබේ.

සාමාන්‍යයෙන් වැඩකරන දිනයක රාත්‍රියේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට්‌ 2100 දක්‌වා ඉහළ ගොස්‌ මධ්‍යම රාත්‍රියේ දී මෙගාවොට්‌ 1,100 පමණ දක්‌වා අඩුවන බව පවසන විමර්ශන කමිටුව මෙය සති අන්තයේ දී උපරිම රාත්‍රී ඉල්ලුම මෙගාවොට්‌ 1,900 දක්‌වා ඉහළ ගොස්‌ මධ්‍යම රාත්‍රියේ දී මෙගාවොට්‌ 950 පමණ දක්‌වා අඩුවන බව පවසයි.

පෙරේදා රාත්‍රියේ මෙලෙස සුවිශේෂී ලෙස සිදුවූ විදුලි ඉල්ලුම අඩුවීම නිසා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ ප්‍රබල අස්‌ථායිතාවක්‌ නිසා මෙලෙස විදුලිය බිඳවැටීම සිදු වන්නට ඇතැයි විමර්ශන කමිටුව සැක පහළ කරයි.

කෙසේ වෙතත් අදාළ විදුලිය බිඳවැටීම පිළිබඳව නිශ්චිත හේතු සොයා ගැනීමට තාක්‍ෂණික පරීක්‍ෂණ තවදුරටත් සිදු වෙමින් පවතින බවද, විදුලිය බිඳවැටීම පිළිබඳව විමර්ශනය කළ කමිටුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

පැවැති විදුලිය බිඳවැටීම ඊයේ (28 වැනිදා) අලුයම 4.00 පමණ වන විට යළි යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම විදුලිය බිඳවැටීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් විදුලිබල මණ්‌ඩලයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක්‌ ඊයේ (28 වැනිදා) පත්කරන ලදී.