FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරසර සංවර්ධන සමුළුව අමතයි.

21 වන සියවස තුළ ගෝලීය පාරිසරික සංවේදී නව ශිෂ්ටාචාරයේ පෙරගමන්කරුවෙකු ලෙස අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සැදී පැහැදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.2030 වන විට මෙම ඉලක්ක පූර්ණ වශයෙන් ජයගැනීම තම රජයේ අපේක්‍ෂාව බවයි 2015 තිරසර සංවර්ධන සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවැත්වෙන තිරසර සංවර්ධන සමුළුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වූයේ පසුගිය 25 වනදායි.ඉදිරි වසර 15 සඳහා ගෝලීය සංවර්ධන ඉලක්ක එළිදැක්වීම සමුළුවේ දී සිදුවුණා.එහි අවසන් දිනය වූ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමුළුව ඇමතූ අතර රටවල් 150කට අධික සංඛ්‍යාවක් සමුළුවට සහභාගි වී සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 2015 වසර සඳහා වන සංවර්ධන න්‍යාය පත්‍රය සහ ඒ සමඟ ඉදිරිපත් කරනු ලබන විශ්ව ක්‍රියාකාරී සැලැස්මට ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහාය හිමිවන බව ප්‍රකාශ කළා.

ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ද දරිද්‍රතාව ප්‍රගතිශීලී ලෙස අවම කිරීමට ද, අසමානාත්මතාව පිටුදැකීමට ද, සමාජ සාධාරණත්වය හා මානව ආරක්‍ෂාව සපිරි සමාජයක් බිහිකිරීමටද පියවර ගන්නා බවයි තිරසර සංවර්ධන සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ.අපි වැඩ පටන් ගනිමු, ඉලක්ක ජයගනිමු, ලෝකය සහ එහි ජනතාව සඳහා ගෝලීය එළඹුමක් අවශ්‍යයි යන මැයෙන් 2015 තිරසර සංවර්ධන සමුළුව පැවැත්වුණා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය ලබන 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතීමට නියමිතයි.