FAST NEWS

24×7 Around the Globe

දේශීය යාන්ත්‍රණය බොරුවක් වන හැටි හිටපු ජනපති මහින්ද පහදයි.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව යටතේ ඇති කර ගන්නේ හුදෙක්ම දේශීය යාන්ත්‍රණයක් යැයි ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය යෝජනාවේ ක්‍රියාන්විත ඡේදය අංක 6න් බොරුවක් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය මෙසේයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ලංකාවට එරෙහිව දැනට සභාගත කොට තිබෙන ඇමෙරිකානු යෝජනාව ඡන්ද විමසීමකට නොගොස් සම්මුතියෙන් පිළිගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇත. එවැනි තීරණයක් ඔවුන් ගනු ලැබුවේ මෙකී යෝජනාව ලංකාවට වාසිදායක ආකාරයට සැර අඩු කොට තිබෙනවාය යන පදනම මතය.
මේ යෝජනාව සභාගත කිරීමට පෙර පැවැති සාකච්ඡා වටයේදී ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මේ යෝජනාවේ ඊනියා යුද අපරාධ පිළිබඳ වැඩියෙන් අවධාරණය නොකොට ලංකාවේ නව ආණ්ඩුව ගැන සානුකම්පිතව සිතා ඔවුන්ගේ ප්‍රවේශය වෙනස් කරගන්නැයි ඉල්ලා සිටියද යෝජනාවට මුල පිරූ ඇමෙරිකාව ඇතුළු රටවල් ඒ ඉල්ලීමට සවන් දී ඇති බවක් පෙනෙන්නට නැත. සභාගතව ඇති මෙම යෝජනාවේ ක්‍රියාන්විත ඡේද පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබෙන අතර, ඉන් කිහිපයක් පමණක් මෙහිදී ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.

ක්‍රියාන්විත ඡේදය අංක 01 –

මෙම යෝජනාවේ පළමු ක්‍රියාන්විත ඡේදයෙන් ඉල්ලා සිටින්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාව පිළිබඳ මෑතකදී නිකුත් කරන ලද වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවයි. එපමණක්ද නොව, මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ වඩාත්ම මතභේදයට තුඩුදෙන සියලුම නිර්දේශ ඇමෙරිකානු යෝජනාවේ ක්‍රියාන්විත ඡේද ලෙස පහත දැක්වෙන ආකාරයට ඇතුළත් කොට තිබේ.

ක්‍රියාන්විත ඡේදය අංක 04 –

මෙම ඡේදයට අනුව ‘යටගියාව’ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බිහිකරන යාන්ත්‍රණයට විදේශීය රටවලින් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා ගැනීමට ඉඩ දිය යුතුය. මෙමඟින් සිදුවන්නේ මේ ඇති කරන නව යාන්ත්‍රණයේ වැදගත් අධිකරණමය සහ වෙනත් ආයතනවල සේවකයන්ගේ වැටුප් පවා විදේශ බලවතුන් විසින් ගෙවන තත්ත්වයක් ඇති වීමයි.

ක්‍රියාන්විත ඡේදය අංක 06 –

මේ ඡේදයට අනුව ආණ්ඩුව විසින් ඊනියා යුද අපරාධ විමර්ශනය කිරීමට අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු අතර, මෙයට විදේශ විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් සහ නීතිඥයන් සහභාගි කරගත යුතු වේ. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව යටතේ ඇති කරගන්නේ හුදෙක්ම දේශීය යාන්ත්‍රණයක් යැයි ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය එයින් බොරුවක් බවට පත්වේ.

ක්‍රියාන්විත ඡේදය අංක 08 –

මෙම ඡේදයට අනුව මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සැකයක් තිබෙන ආරක්ෂක හමුදා සාමාජිකයන් උසාවියට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නොතිබුණත්, පරිපාලනමය ක්‍රියාදාමයකින් ආරක්ෂක හමුදාවලින් ඉවත් කළ යුතු වේ.මෙකී යෝජනාව ලංකාවට වාසිදායක ආකාරයට ‘සැර අඩු කොට’ ඇතැයි ප්‍රචාරය කිරීම තුළින් ආණ්ඩුව විසින්ම අප රටේ ජනිත කර තිබෙන අදහසට හාත්පසින්ම විරුද්ධ දිශාවකට ඉහත සඳහන් ක්‍රියාන්විත ඡේදයන් යන බව පැහැදිලිය. ආණ්ඩුව මේ යෝජනා සම්මුතිවාදීව පිළිගෙන එය මානව හිමිකම් කවුන්සිලයේ ඒක ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ශ්‍රී ලංකාවට හානිකර මෙවන් නිර්දේශ ඉවත්කර එම යෝජනාව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවන්ට අනුව හැඩගැස්විය යුතුය.