FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධීව නවසීලන්තයට යන්න ගිය 16 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (05) සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 

මීගමුව ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර , මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙවැනි මෙහෙයුම් නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ නවසිලන්තය වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර, මිගමුව ප්‍රදේශයට වෑන් රථයකින් පැමිණි සිට අවස්ථාවේදී මෙම පුද්ගලයින් පිරිස අත් අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සංක්‍රමණය වීමට උත්සාහ කල පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 19 – 46 ත් අතර වියෙහි පසුවන්නන් වෙයි.

මෙම මිනිස් ජාවරමේ නිරත වූ ජාවාරම්කරු සොයා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් ක්‍රියාතමක කර ඇත.