FAST NEWS

24×7 Around the Globe

හිරුණිකාට එරෙහි නඩුව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් , තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි මැයි මස 4 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අද (03) නියම කළේය.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306(2) වගන්තිය යටතේ තම සේවාදායකාව මෙම නඩුව වරද පිළිගැනීමකින් හෝ දඬුවම් කිරීමකින් තොරව අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව දන්වා සිටියේය.

විත්තියේ නීතිඥවරයා විසින් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට ඇය අපේක්ෂා කරන බවද අධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුව සම්බන්ධයෙන් වරද පිළිගැනීමට හෝ නිවරදිකාරිය යැයි ප්‍රකාශ කිරීමට විත්තිකාරියට පූර්ණ අයිතියක් තියෙන බව මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමක් ඉදිරිපත් කිරීමට විත්තිකාරියට හැකියාව තිබෙන බවත් කෙසේ වෙතත් නඩු විභාගයට තමන් සූදානම් බවත් රජයේ නීතිඥවරයා අධිකරණ දන්වා සිටියේය.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියන්ත නමැති තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.