FAST NEWS

24×7 Around the Globe

අල්ලස් නඩුවෙන් ප්‍රියංකර ජයරත්න නිදහස් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින්හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට නියම කළේය.

අල්ලස් කොමිසම විසින් 2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් මාරවිල පිහිටි ගම්බද කේටර්ස් නමැති සමාගමට ගෙවන ලෙස ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

මෙම නඩුව අද(03) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය දන්වා සිටියේ මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව හෙයින් නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දුන් අතර පසුව විත්තිකාර පියංකර ජයරත්න මහතා නිදහස් කිරීමට ද නියම කළේය.