FAST NEWS

24×7 Around the Globe

සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස් ජාවාරමක් කළ චීන ජාතිකයා පිටුවහල්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී චැට් නමින් චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වන දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යළි ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කර තිබේ.

කටුනායක ආගමන විගමන බලධාරීන් පැවසුවේ සැකකරු වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි.

ඊයේ සවස 2.45 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉතිහාඩ් ගුවන් සේවයේ EY- 264 දරන ගුවන් යානයෙන් මෙම චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ ආගමන කවුළුව වෙත පැමිණි විගසම ඔහු පිළිබඳව ඇති වූ සැකය මත ආගමන විගමන නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඔහු සතු ජංගම දුරකථනය ඇසුරෙන් සිදු කරන ලද විමර්ශන වලදී ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම මිනිස් ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

චීනයේ ක්‍රියාත්මක වී-චැට් නමැති සමාජ මාධ්‍ය ජාලයේ ගිණුමක් අරඹා ඇති මෙම පුද්ගලයා, චීන ජාතික සුරූපී තරුණියකගේ ජායාරූපයක් යොදා ගනිමින් කාන්තාවක් ලෙස පෙනී සිටින් මෙම මිනිස් ජාවාරමේ පවත්වා ගෙන ගොස් ඇත.

ඔහු විසින් ඒ හරහා දකුණු ආසියානු කළාපයේ රටවල තරුණියන් සමග සම්බන්ධතා ගොඩ නගා ගනිමින් පසුව ඔවුන්ගේ විශ්වාසය තහවුරු වූ පසුව එම තරුණියන්ට චීනයේ රැකියා ලබා දෙන බව පවසා ඔවුන් චීනය වෙත ගෙන්වා ගෙන ඔවුන්ව මිනිස් ජාවාරම් සඳහා යොමු කර ඇති බව හෙළිවී තිබේ.

සිදු කරන ලද විමර්ශන වල දී  හෙළිව ඇත්තේ ඔහු ශ්‍රී ලංකාව වෙත මෙසේ පැමිණ ඇත්තේ ද මෙරට තරුණියන් පිරිසක් මේ ආකාරයට චීනය වෙත රැගෙන යෑමට බවයි.

මෙම අත් අඩංගුවට ගැනීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මර්දන ඒකකය සහ කටුනායක ගුවන් තොටුපල දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කල අතර මෙම චීන ජාතිකයා පැමිණි ගුවන් යානයෙන්ම ආපසු අබුඩාබි නුවර වෙත පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීහු පියවර ගනු ලැබීය.