FAST NEWS

24×7 Around the Globe

ඇමති නියමයෙන් ලොකුළූණු බද්ද පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

වෙළපළෙහි ලොකුළූණු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලොකුළූණු ගොවියා  සුරැකීම උදෙසා ජීවන වියදම් කමිටුව මඟින් ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රු. 40 කින් ඉහළ දැමීමත් ඉන්දියාවේ පවතින දේශගුණික බලපෑම මත ඉන්දියාව විසින් ලොකුළූණු අපනයනය නැවැත්වීමත් මත මෙරට දේශීය ලොකුළූණු කිලෝවක තොග මිල රු. 250 සිට 300 දක්වා ඉහළ ගියේය. ඒ අනුව පාරිභෝගික ජනතාවට සහනයක් පිණිස ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද අද (01) මධ්‍යම රාත්‍රියේ සිට රු. 39 කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කොට ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි වාර්තාවන්ට අනුව මේ වන විට දේශීය ලොකුළූණු අස්වැන්නෙන් 75% ක් නෙලා අවසන්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බද්ද පහළ දැමීමත් සමඟ වෙළඳපලෙහි දැනට පවතින ලොකුළූණු කිලෝවන මිලෙන් රු. 50 ත් 70 ත් දක්වා මිලක් අඩුවනු ඇතැයි ජීවන වියදම් කමිටුව අපේක්ෂා කරයි.

ඉදිරියේ දී ඊජිප්තුව හා පකිස්ථානය වැනි රටවලින් ලොකුළූණු ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාවක් ඇතැයි කමිටුව ප්‍රකාශ කළේය.