(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(19) අළුයම රේගු නිලධාරීන් පිරිසක් විසින් අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි 29 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල, මෙම මත්ද්‍රව්‍ය විශාල මිල ගනන් යටතේ අලෙවි කරන අතර මෙම අයිස් මත්ද්‍රව්‍ය මෙතැම්පටමයින් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.
අදාල සැකකරු අද අළුයම 1.40 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
රේගු නිලධාරීන් විසින් ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු ගෙවා ගමන් මලු රැගෙන යන” රක්ත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී ඔහුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබේ.
පාර්සල් දෙකක් ලෙස සකස් කර තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් අසූ හය ලක්ෂ හතලිස් දෙදහස් එකසිය පනහක්(86,42,150 )ක් වන අතර ඒවායේ මුළු බර ග්‍රෑම් 864.215 ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ගුවන්තොටුපළ රේගුව විසින් සිද්ධිය සම්බන්ධය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.








