FAST NEWS

24×7 Around the Globe

‘තොරතුරු මාසයක්’ ප්‍රකාශයට පත්කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමී ව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් 2019 සැප්තැම්බර් 15 දින සිට ඔක්තෝම්බර් 15 වැනි දින දක්වා කාලය “තොරතුරු මාසය” ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. 

මෙම මාසය තුළ තොරතුරු දැනගැනීමේ පනත ආශ්‍රිත ක්‍රියාකාරකම් හි යෙදීමට සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දෙමින් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටත්, එයට සමගාමී ව දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සිවිල් පුරවැසියන් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමටත් ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මෙයට අමතර ව ‘ගමට තොරතුරු අයිතිය’ මැයෙන් තොරතුරු දැනගැනීමේ (RTI) ජංගම සේවාවක් තෝරාගත් දිස්ත්‍රික්ක 05 ක ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.