FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියළුම සත්වෝද්‍යාන සේවක වැඩවර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල, පින්නවල, හම්බන්තොට ඇතුළු සියළු සත්වෝද්‍යාන ආවරණය වන පරිදි දිවයිනේ සියළුම සත්වෝද්‍යානවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් දියත් කර ඇති බව සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමයේ භාණ්ඩාගාරික ක්‍රිශාන්ත ක්‍රිස්ටෝපර් මහතා සදහන් කළේය.

අද (18) පෙරවරුවේ 08.00 සිට ක්‍රියාත්මක මෙම වර්ජනය සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් එහි සේවකයින් සිය අභිමතය පරිදි ස්ථාන මාරු කිරීමට එරෙහිව දියත් කර ඇත.

පසුගිය6 වනදා අනතුරු සහ පැමිණිමේ දීමනා ගැටළුවක් මුල් කර ගනිමින් සත්වෝද්‍යාන සේවකයින් වැඩවර්ජනයක නිරත වූ අතර එම ඉල්ලීම්වලට ලබන 20 වනදා වන විට බලධාරීන් විසින් විසදුම් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවක් මත වර්ජනය අවසන් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණි.

සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් එම කාලය අතරතුර මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බව ක්‍රිශාන්ත ක්‍රිස්ටෝපර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.