FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී.ලං.නි.පයේ පස්දෙනෙකුගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5දෙනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබේ.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කෙළේ එම චෝදනා පත්‍ර ඉදිරියේදී යොමු කරන බවයි.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ හා පොදුජන පෙරමුණට සහය දක්වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ය.

පක්ෂ සාමාජිකත්වය තහනම් කළ සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ, එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන විජිත් විජයමුණි සොයිසා හා ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන් වෙයි.

පක්ෂයට අගතියක් සිදුකරන ක්‍රියාවලින්ට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව, අද (14) මාතලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.