FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුවල පිටුවහල් කිරීමේ අධිකරණ තීන්දුව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා මහත් ආන්දෝලනයට තුඩුදුන් ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 18 වන දින දක්වා කල් තැබීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

මෙම අධිකරණ තීන්දුවට අනුව ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතේ සරණාගත කඳවුරේ තවදුරටත් රැදී සිටිමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය දා තීරණය කළේය.

කෙසේවෙතත් පිටුවහල් කිරිමේ තිරණය එරට අධිකරණයක් විසින් අත්හිටුවීමත් සමඟ ශ්‍රි ලංකාවට පැමිණෙමින් සිටි ඔවුන් රැගත් යානය යළි ඔස්ට්‍රේලියාව බලා හරවා යැවුණි.

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ වසර ගණනාවක් රැඳී සිට ඇති මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ දරුවන් දෙදෙනා පිටුවහල් කිරිමට ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණයට එරෙහිව පසුගිය දිනවල ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුළු නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ද සංවිධානය කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.