FAST NEWS

24×7 Around the Globe

පොළොන්නරුවේ නඩු කටයුතු කඩිනම් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මැතිණියගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(05)  පෙරවරුවේ සිදු කෙරුණි.

නව අධිකරණ සංකීර්ණය මහළ් තුනකින් සමන්විත වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 327 ක් වැය කර තිබේ.

මහාධිකරණය 01 ක් ,දිසා අධිකරණ 01ක්, මහෙස්ත්‍රාත් අධිකරණ 01 ක්, අනෙකුත් කාර්යාල පහසුකම්, වාහන නැවතීමේ ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතව නව අධිකරණ සංකීර්ණය ඉදි කර ඇත.

වර්ග මීටර් 3700 ක බිම් ප්‍රමාණයකින් යුතුව ඉදි කර ඇති නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් මධ්‍යම ඉංජිනේරු පිළිබඳ උපදේශන කාර්යාංශය මඟින් සිදු කර තිබේ.

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම 2017.02.25 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම සිදු විය.

පොළොන්නරුව නීතිඥ සංගමයේ කාර්යාල ඉදි කිරීම සදහා ඉඩමක් ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු කෙරුණි.

පොළොන්නරුව නීතිඥ සංගමය සදහා නීති ග්‍රන්ථ පිරිනැමීමද මෙහිදි සිදු කෙරිණි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත්  ආණ්ඩුකාර පේෂල ජයරත්න ,විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු එස්.ඒ.අයි.එස් .සුරවීර මහතා ඇතුළු විනිසුරුවරුන්,  ඉංජිනේරු කාර්යයන් පිළිබඳව උපදේශන කාර්යාංශයේ නිලධාරීන්, නීතිඥවරුන්, අධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක් විය.