එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය අද ආරම්භ වීමට නියමිත ය.
ජිනීවා හි පැවැත්වෙන මෙම සැසිවාරයට, ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ කටයුතු ආමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ඇතුළු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටිති.
විදේශ අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් ඊයේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්, සෙයිඩ් රාඩ් සෙයිඩ් අල් හුසේන් කුමරු හමුවී සාකච්ඡා පවත්වනු ලැබූ බව විදේශ අමාත්‍යංශය පැවසී ය.
අද දිනයේ අමාත්‍ය මංගල සමරවීර මහතා සමුළුව ඇමතීමට නියමිත බව වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ය.
මේ අතර කරුණු දෙකක් හේතුවෙන් මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.
ඒ, සෙයිඩ් රාඩ් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙම සැසිවාරයේදී මාර්තු මාසයේ කල් තැබූ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම හා සැසිය ආරම්භයේදී ම අමෙරිකාව දේශිය පරීක්ෂණයක් සඳහා යොමු කරවීම සඳහා යෝජනාවක් ගෙන ඒමට කටයුතු කිරීම ය.







