FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් අද ඉන්දීයාව බලා පිටත්ව යයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යයි.

අග්‍රාමාත්‍යවරයා තම ප්‍රථම නිල සංචාරයේදී එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහාය ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ සිය ප්‍රථම නිල සාකච්ඡාව ඇරැඹීමට නියමිතය.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා 13 වැනි සංශෝධනය යටතේ බලය බෙදා හැරීම, දෙරට අතර ආර්ථික සහයෝගිතාව, ඉන්දීය සහ ශ්‍රී ලංකා ධීවරයන්ගේ ප්‍රශ්න හා ඉන්දියන් සාගරයේ ආරක්ෂාව පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ලබන සතියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවට අදාළව ශ්‍රී ලංකාවේ සිදු වූයේ යැයි කියන යුද අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබා ගැනීමද අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය චාරිකාවේ ප්‍රධාන අරමුණක් වෙයි.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අන්තර්ජාතික වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුද මේ චාරිකාවට සම්බන්ධ වන අතර දෙරට අතර වෙළෙඳ ගිවිසුම් කිහිපයකටද එහිදී අත්සන් තැබීමට නියමිතය.