අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම නිසා වාහන මිල ගණන් රුපියල් ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ.
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ඊයේ(10) දිනය වනවිට රුපියල් 136.17 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 141 ක් ලෙසත් සටහන් විය. මහබැංකුව මගින් රුපියලේ අගය පාවීමට ඉඩ සැලසීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා සිට මේ දක්වා රුපියලේ අගය 3% කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇත.
මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණ වීම හේතුවෙන් වාහන ආනයනය කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් දේශීය වෙළඳපොලේ වාහනවල මිල ගණන් රුපියල් ලක්ෂයත්, ලක්ෂ 5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පැවසී ය.
ජපානයෙන් ආනයනය කරන වෙළෙඳපොළේ සුලබ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු කුඩා මෝටර් රථයක මිල ද රුපියල් 75,000 ත් ලක්ෂයත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මෙරට ඉතාමත් ජනප්‍රිය සුසුකි ඇල්ටෝ, සුසුකි සිලේරියෝ, සුසුකි ස්විෆ්ට් සහ ඇල්ටෝ කේ-10 යන වාහන මෙරට අලෙවි කරන ඇසෝෂියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම එම වාහනවල මිල වැඩිවන ආකාරය විස්තරාත්මකව අනාවරණය කරයි.
අළුත් තත්ත්වය මත සුසුකි ඇල්ටෝ මෝටර් රථයක මිල රුපියල් 100,000 කින් ඉහළ යන බවත් මෙම මෝටර් රථයක පැරණි මිල රුපියල් 14,25,000 ක්වූ අතර එහි නව මිල රුපියල් 15,25,000 ක්වී තිබෙන බවත් එම සමාගමේ උසස් නිළධාරියෙකු සඳහන් කර ඇත.
මීට අමතරව, සුසුකි සිලේරියෝ මෝටර් රථයක් රුපියල් 1,40,000 කින් මිල ඉහළ ගොස් ඇත. මෙම මෝටර් රථයේ පැරණි මිල රුපියල් 23,55,000 ක්වූ බවත් එහි නව මිල රුපියල් 24,95,000 ක් වී ඇත.
ඉන්දියානු සුසුකි ස්විෆ්ට් මෝටර් රථයක මිල රුපියල් 1,20,000 කින් මිල ඉහළ ගොස් තිබෙන අතර එහි පැරණි මිල රුපියල් 29,40,000 ක්ද නව මිල රුපියල් 30,60,000 ක්ද වේ.
මීට අමතරව, කේ-10 ඔටෝ ගියර් මෝටර් රථයක් රුපියල් 85,000 කින් මිල ඉහළ ගොස් තිබෙන අතර එහි පැරණි මිල රුපියල් 21,00 000 ක්වූ බවත් නව මිල රුපියල් 21,85,000 ක් දක්වා වැඩිවී තිබෙන බව ඔහු පෙන්වා දී ඇත.
මේ අතර, කේ-10 සාමාන්‍ය මෝටර් රථයක මිල රුපියල් 70,000 කින් වැඩිවී තිබෙන අතර පරණ මිල රුපියල් 18,25,000 ක්වූ අතර නව මිල රුපියල් 18,95,000 ක්වී ඇත.
මෙම උසස් නිළධාරියා පැවසුවේ කේ-10 ඔටෝ ගියර් මෝටර් රථවල පමණක් පැරණි තොග සමාගම සතු බවත් එම තොගය පැරණි මිලටම අලෙවි කරන බවයි.
රුපියල අවප්‍රමාණය වීමට අමතරව ඉන්දියානු මව් සමාගම විසින් මෝටර් රථවල මිල වැඩිකිරීමද මෙම මිල ඉහළ යාමට හේතුවී ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.